එකල මා උසස් පෙල විභාගය අහවර කර යම් නිදහසක් විඳි කාලයකි. කුඩා කල සිට තේ වත්තක වැඩ බලන්නෙකුගෙ රැකියාවක් කෙරෙහි නොනිමි අසාවෙන් පසු වූ මා එවැනි
රැකියාවකට අයදුම් කර තිබුනි. එයද බලාපොරොත්තුවෙන් කාලය ගත කල මට දිනක් උදය වරුවේ ලියුම් කාරයාගේ බයිසිකල් හඬ ඇසුනි.
"සිරිසෝම මහත්තයෝ මෙන්න පුතාගෙ නමට ලියුමක්"
"පුතේ මෙන්න ලියුමක්, වැඩේ හරි ගිහින් වත්ද"
තාත්තා කියනු ඇසුනි.
එය ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවෙනි.
ඔවුන් මා හට රැකියාව දීමට කැමැත්ත පල කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ තේ වතු කිහිපයක වගකීම නැතොත් වැඩ බලාගැනීම මට පවරා ඇත.
රැකියාවට අවැසි සියල්ලද ලකලෑස්ති කරගෙන නිවැසියන්ගෙන්ද සමුගෙන පසුදින උදයේම පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් නුවරඑළිය බලා දිවෙන දුම්රියකට නැග ගත් මට උදෑසන 11 පමණ වන ව්ට නුවරඑළිය දුම්රිය ස්ථානයෙන් ගමන කෙලවර කිරීමට හැකිවිය.
" මහත්තයා බෑග් එක දෙමු"
නාට්ටාමි කෙනෙකුන් ළඟට පැමිණ බෑගය කරට ගත් අතර ඔහුගෙන්ම මා හට යාමට යුතු ලිපිනය සඳහන් ලිපිය පෙන්නා
"මේ ඇඩ්රස් එකට කොහොමද යන්නේ"
ලිපිනය දෙස බලා මා වෙත මවිතයෙන් බෑලූ ඔහු
"මහත්තයා මෙහෙටද යන්නේ? ඇයි මහත්තයා වෙන තැනකට ගියොත් නරකද?"
"ඇයි එහෙම කියන්නෙ"
"ඔය බංගලාව කාලාන්තරයක් නවතින්න සුදුසු තැනක්නන් නෙමේ"
"මහත්තයෝ කලින් ඔතන නවාතැන් ගත්තු මහත්තයා දැන් ටික දවසකට කලින් අසනීප වෙලා අරන් ගියෙ, සිහිය විකල් වෙලා,"
" ඒ මොකද? "
"ඔය පුංචි බංගලාවෙ හොල්මන් ඉන්නව කියලයි ගම්මුන්ගෙ කතාව, ගම්මුන් ගෙන් කවුරුවත් ඔය බංගලාව ළඟටවත් යන්න කැමති නෑ"
"මෙන්න මෙහෙ දෙනව බෑග් එක" කෝපාවිෂ්ඨ වූ මට මොහුගෙ කතා විලාශය ගැන දැඩි තරහක් ඇතිවිය.. රුපියල් පනහක මුදලක් ඔහුගෙ අත තැබූ මා අසල පිහිටි ත්‍රිවිලරයකට නැග ගතිමි.
මෝඩ මිනිස්සු.. යි සිතෙන් කියාගත් මම රියදුරැට යාමට අවැසි ලිපිනය පැවසීමී.
"මහත්තයෝ, කෝකටත් පරිස්සමින්, ජේසු පිහිටයි" කියූ නාට්ටාමි ආපසු හැරී ගියේ හස්තයෙන් කුරුසයද අඳිමිනි.
දුම්රිය පොලෙහි සිට කිලෝමීටර් 3ක පමණ දුරක් පැමිණ පසු කර්මාන්ත ශාලාවෙන් නැවතීමට සකසා දුන් බංගලාව වෙත ඒමට හැකිව්ය. ත්‍රිවිලරයට මුදල් දුන් පසු බෑගයද රැගෙන බිමට බැසගත් මම බංගලාව දෙසට යාමට සැරසෙත්ම,
"මහත්තයට ජේසු පිහිටයි, පුලුවන් හැම වේලාවකම ඇස් කන් ඇරන් සිහියෙන් ඉන්න මහත්තයෝ" කී රියදුරැ වේගයෙන් ත්‍රිවිලරයද හරවාගෙන යාමට ගියේය.
පිටතින් සුදු හුණු ගා මනා ලෙස නඩත්තු කරතිබූ කුඩා බංගලාවක් ලෙස මා හට දිස්වූ මාගේ ඉදිරි නවාතැන වූ බංගලාවෙහි මට තිබුනෙ තනිවම කෑම සාදාගෙන විසීමටය. බෝඩිම් කාමරවල ජීවත් වූ මට මෙය එතරම්ම ගැහැටක් නොවුවේ එම ජීවිතය මට හුරු නිසාය.
නවාතැනට ඇතුලු වීමට ප්‍රථම මා කලේ බෑගය ඇතුලු වන දොර ඉදිරියෙහි තබා අවට බලා කියාගැනීමට යෑමයි. මෙම බංගලාව පිහිටි තැන තේ වතුයායේ ඉහලම තැනයි. පහල බෑලූ කල කුඩා නිවස්නයන්ද කර්මාන්ත ශාලාවද මනාව දැකගැනීමට හැකිවිය. බංගලාවත් පහල ඇති නිවසකුත් අතර දුර අවම වශයෙන් මීටර් 60ක් වත් විය.
"මාර ලස්සන තැනක් නෙ" යි මට කියවුණි.
එසේ නිරායාසයෙන්ම වචන පිටවෙන තරමටම මනස්කාන්ත දර්ශනයක් බලාගැනීමට මෙම බංගලාවේ සිට හැකිය.
මෙවැනි සුන්දර පරිසරයක් ඇති තැනක් ලැබීම පිලිබඳව ඇතිවූ සතුටින්ම බංගලාවේ ඉදිරි දොර වෙත පිවිසි මා කලිසම් සාක්කුවේ තිබූ යතුර ගෙන ඉදිරිපස දොර ඇරගතිමි.
නවාතැන ඇතුලත විසිත්ත කාමරය ගිනි උඳුනකින්ද සමන්විත වූ අතර එතුල කුඩා මේසයක්ද පුටු සැටියක්ද පොත් රාක්කයක්ද වූ අතර එතරම්ම ගෘහභාණ්ඩ නොතිබිණි. නාන කාමරයද මුලුතැන්ගෙයද මාගේ කාමරයද ඇරුණු කල තව එක් කාමරයක් විය. එය අගුලු ලා තිබූ අතර එය විවර කිරීමට වෙනම යතුරක්ද මා සතුව නොවීය. අනිකුත් කාමරයේ ඉඩ පහසුකම් ඕනෑවටත් වඩා තිබූ හෙයින් ඒ පිලිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වූ මා එදින කෑමට යමක් සාදාගෙන ආහාරයට ගෙන වේලාසනින්ම නින්දට ගියේ එලිවෙන උදයේම කර්මාන්ත ශාලාවට යායුතු බැව්නි.
පසුදින උදයේම ඇහැරී කර්මාන්ත ශාලාව වෙත ගොස් මා හට පැවරී ඇති රාජකාරි සියල්ලම අහවර කොට ආපසු නවාතැන වෙත ඒමේදී ගොන්මන් කලුවර වැටී තිබුණි.
ආ විගසම ඇඟ පත තේමාගත් මා රාත්‍රි කෑම සැකසීමට ප්‍රථම තේ කෝප්පයක් සාදාගෙන විසිත්ත කාමරයට පිවිසුණෙමි.
"ක් ක් ක් හ්හ්හ්න් න්න්නාන්"
කුඩා දැරියකගේ කටහඬක් බඳු අමුතු කෙඳිරියක් ඇසුණි. කාත් කවුරුවත් නැති මේ බංගලාවේ ඇසුණි දෙයින් යම් තරමක තිගැස්සියකට ලක්වූ මට කෙඳිරිය ආ දිසාවට නෙත් යොමුවිය.
ඒ වසා තිබූ අගුලු ලා තිබූ කාමරයයි.
යම් චකිතයක් හද වෙලාගත්තද එම කාමරය අසලට ගිය මට හොඳින් බැලීමේදී එම දොරගුලු ඉතා අලුත දැමූ දොරගුලක් යැයි හොඳින්ම පේන්නට තිබුණි. එකෙහිනිම දොර පියන් දෙක අතරින් කාමරය ඇතුල පෙනෙන කුඩා දාරයට නෙත් යොමු කලෙමි. දුටු දෙයින් තිගැස්සී බිම වැටුන මා තේ කෝප්පයද බීඳී විසිවී ගියේය. මඳ වේලාවක් දුටු දෙයින් භීතියට පත් මා එතැනම සිට නැවත කුඩා හිඩැස තුලින් කාමරය ඇතුලත බැලීමි. එතුල එක එල්ලේ දොර හිඩැස කෙලින්ම ඇතුලත ලී පුටුවක් පමණක් තිබුණි. දෑස් පොඩිකර නැවත වතාවක් බැලුවද කලින් දර්ශනයම මා හට දැකගත හැකි විය.
එසේනම් මා දුටු සුදු ඇඳගත් පුටුව මත වාඩීවී සිටි ගැහැණිය කවුරුන්ද.?
මාගේ මනසේ මැවුණු රූපයක්ද..? කිමක්ද.?
ඇතිවූ දැඩි කුකුසෙන්ම රාත්‍රි ආහාරය සැකසීම පසෙකලා නින්දට යාමට ගියේ හිත තුල අැතිවූ තිගැස්ම පහකර ගැනීමේ අරමුණිනි.. "හෙට අර කාමරය ඇරල බලන්න ඕන" යි මටම කියාගත් මා හට නින්ද ළඟාවූයේ මධ්‍යම රාත්‍රිය පසුවූවාටත් පසුය.
පසුදින උදෑසන සියල්ලටම ප්‍රථම තේ කොප්පයක් සාදා පානය කරේ පෙර දින රාත්‍රි ආහාරය නොගැනීම නිසාවෙන් ඇතිවූ අධික කුසගින්න නිසාය. අධික කුසගින්නටත් වඩා මා සිත දැඩි කුතුහලයෙන් පිරී තිබුණි. මුලුතැන්ගෙය දෙසට ගිය මට වසා තිබූ කාමරයේ අගුලු කැඩීමට හැකි වෙතැයි සිතුනු යම් යකඩින් සෑදූ නැවුමක් සහිත බටයක් සොයාගැන්මට හැකිවිය. එයත් රැගෙනම විසිත්ත කාමරයටට පිවිසුනු මා දෙතුන් වරක්ම කල්පනා කර අවසන තීරණයකට එළඹිනි. එනම්,
"දොරගුලු කඩාදැමීමයි"
යකඩ බටයද රැගෙන දොර අසලට පිවිසුනු මා සියලු වැර යොදා අගුල දෙසට පහරක් ගැසීමි. අගුල සමඟම ලී දොාර සෙලවී ගියද අගුල කැඩීයාමට තරම් එම පහර අනර්ඝ එකක් නොවීය. දෙවෙනි වර පහරද එතරම් සාර්ථක නොවුවද දොරගුල නොකැඩී එය ලී දොරෙන් ගැලවී බිම වැටුණි. දොාර ඇරගැනීමට දැන් හැකිය. ආත්මාරක්ෂාව උදෙසා යකඩ බටයද දැඩිව අතට ගත් මා චකිතය මුසු හීතියෙන්ම දොර විවෘත කලෙමි. සීතල සුළඟක් ගෙල දෙපසේ සිට මුලු ඇඟ පුරාම ගොස් ගත සීතලකින් පිරවීය.
ආහ්: එතුල තිබූ එකම දෙය නම් ලීයෙන් තැනූ පුටුව විය. උඩ බිම බැලුවද එයම පමණක් විය. නමුදු පරවූ මල් වැලක් වැනි යමක් දොරෙහි එල්ලා තිබුණි. එය පෙනෙන්නෙ කාමරය අැතුලතින් බැලූ විට පමණි. තවද ජනේලය හා දොරෙහි යම් කොල කැබලි කිහිපයක් අල්වා තිබුණි. ඒවා සමීපයට ගොස් කියවූ මට එම කොල කැබලි බයිබලයකින් ඉරාගත් පිටු බව හඳුනාගත හැකිව්ය. මෙහි කිසිම දෙයක් නැතිනම් මෙය වසා දැමීමට ඇති හේතුව කුමක්ද.? බයිබලයේ පිටු ඉරා බිත්ති මත ඇලවීමට හේතුව කුමක්ද? දොර පියන් වසා කාමරයෙන් පිටවූ මා උදේ අහරද රැගෙන රාජකාරී සඳහා පිටත් වීය. රාජකාරීද අහවර කර නවාතැනට ඇතුලු වූ මට නිතැතින්ම ඇස ගියේ අගුලු කඩා දැමූ කාමරය දෙසටය. සියල්ල හිතින් අමතක කිරීමට වෙර දැරුවද එය කීරීමට හදවත ඉඩ නොදෙයි. මේ නවාතැනෙහි මා හැර තවකෙක් සිටී යන අදහසින් මිදීමට මා හට නොහැක. මන්ද පෙර දින සිදූවීම තවමත් මසිත තුල බුරා බුරා පැසවමින් තිබෙන හෙයිනි.
ඇඳුම් උනා දමා නාන කාමරය දෙසට යමින් සිටි මා හට,
"ක් ක් ක් හ්හ්හ්න් න්න්නාන්" නැවත පෙර දින රාත්‍රියේ අැසුනු කෙදීරිලි හඬම නාන කාමරය දෙසින් ඇසුණි.
"මනාස්ගාත" නාන කාමරයේ දොරද වේගයෙන් ඇරගෙනම ඇතුලට ගොස් හොඳීන් නා කියා ගෙන එලියට පිවිස මා සිතුවේ පෙර සිඳුවීම් අමතක වීමත් පිණිසම මධුවිතකින් සප්පායම් වීමටයි. එයට අවැසි අඩුම කුඩුම සියල්ලම රාජකාරී නීමවී එමින් අතරමග සපයාගතිමි. මස් රාත්තලකුත්, නුවරඑලි සීතලට ගැලපෙන සැර වැඩි බෝතලයකුත් ඒ අතර විය.
තැතිගත් සිත නිවාගැනීමට අවැසි වූ මට මධුවිතට අවැසි කටගැස්ම සැදීමට මුලුතැන්ගෙයට ගියෙම්. පහල කඩමන්ඩියෙන් ගෙනූ මස් රාත්තලද ගෙන, එය නැවුම් මස් වර්ගයක් විය. මන්ද එහි තවම ලේ හොඳින් තිබූ නිසාවෙනි. පිහියක්ද ගෙන මස් කැපීමට සැරසෙත්ම දුරකථනය නාද වීය.
"හෙලෝ පුතේ"
"හෙලෝ අම්මෙ"
"පුතේ සනීපෙන් ඉන්නව නේද? හොඳද රස්සාව? හොඳට වැඩ ටික කරන් යන්න පුතේ"
"හොඳයි අම්මෙ වරදක් නෑ ගෙදර අය තාත්තා එහෙම සනීපෙන් නේද?"
"අපි හොඳින්. මගෙ පුතේ පරිස්සමින් දන්න හඳුනන පැත්තක නෙමේනෙ ඉන්නෙ"
"හරි අම්මෙ හරි මට කිසි කරදරයක් නෑ දැන් මේ රෑට කන්න මොනාහරි හදන්න කියල, ජේසු පිහිටයි අම්මේ" මං තියන්නද"
"ජේසු පිහිටයි පුතාටත්"
දුරකථන විසන්ධි කර කාමරයේ සිට නැවත මුලුතැන්ගෙට පැමිණි මට දුටු දෙයින් ක්ලාන්ත නොවුවා පමණි. භාගෙට කැපූ මස් රාත්තල එහි නොවීය. එය කවුරුන් හෝ බිම දිග ඇදගෙන ගිය සැටිය. පුදුමයට සහ භීතීයට කරුණ නම් එය මාගේ කාමරයද පසු කර විසිත්ත කාමරය දිගේ ඇඳගෙන යාමයි. මා එය නොදුටුයේ අම්මාගෙන් ආ ඇමතුමෙහි සිහියෙන් සිටි බැවිනි. ලේ පාර දිගම මමද ගියෙමි.
"අහෝ" හදවත මොහොතකට නතර විය. හද ගැස්ම කන් පාසාරු කරන් යන සේ මා හට ඇසෙයි. මුලුතැන්ගෙය පසුකර, විසිත්ත කාමරය දිගේ, මාගේ කාමරය පසුකර ලේ පාර වැටී තිබුනේ පෙර දින උදෑසන අගුලු කැඩූ කාමරය දෙසටය. පෙර දින කෙඳිරිලි හඬ ඇසුනු කාමරය දෙසටය. භීතිය කුමක්දැයි මේ මොහොතේ මට දැනෙමින් තිබුණි. වීමට සහ නොවීමට කිසි දෙයක් නැත. කිරීමට දෙයක් ඇත්තේ මා සතුය. තම ආරාක්ෂාවට අත රැඳි කිසිවක් නැත. මුලුතැන්ගෙයට දුව විත් මස් කැපූ පිහියම අතට ගතිමි. නැවත කාමරය වෙත පිවිස හිමින් සිරුවේ දොර පියන් විවර කලෙමි.
දුටු දෙයින් බයින් බිරාන්ත වී ගියද ක්ලාන්ත නොවී සිහිඑල්වා ගෙන සිටීමට හැකි විය. මෙම නවාතැනට , නවාතැන ? නවාතැන නොව දැන් මෙය භූත බංගලාවකි, ආ දවසේම
ත්‍රිවිලර් රියදුරැද, නාට්ටමිද කීයු දෙය මට සිහිවිය."මහත්තයෝ පරිස්සමෙන්, හැමවෙලේම සිහියෙන් ඉන්න, ජේසු පිහිටයි"
"ජේසු පිහිටයි" යි මටම කියාගතිමි.
සුදුම සුදු ඇඳගත් කතක් වකුටු වී කාමරයේ මුල්ලකට වී සිට්යි. අැය මට පිටුපා වකුටු වී සිටි අතර, කාමරයේ ජනේලයේ ඉහල කෙලවර කූරු අතරින් වැටී ඇති මලානික සඳ එලියෙන් එය මට හොඳීන්ම පෙනේ. භීතියට කරුණ නම් ලේ පාර නතරවී වී තිබුනේ ඇය අසලින්ය. මා ඇඟට දිරිය ගතිමි. මෙය නම් විසඳාගත යුතුමය. පුලුවන් උපරිම වීර්යෙන් හිත දැඩිකරගෙන ඇය ළගට ගියෙම්.
හීන් කෙඳිරියකි..
ඇය අසලට ගොස් ඇයට අත තැබීමට ගියද, යම් අදෘශ්‍යමාන යමකින් මා පසුපසට තල්ලුකෙරිනි. එයට නොසැලී නැගිටගත් වනම මා ඇයට පිටුපසින් නොව ඇයට දකුණු පසින් ඇයට විරුද්ධව ඇය අසලට සමීප විය.
ජීවිතයේ තනි බංගලාවකදී පාලු රාත්‍රියක මිනිසෙක් දැකීමට අකමැතිම දසුනක් මා දුටුමි. ඇය මස් රාත්තල ඉරා දමමින් කමින් සිටියාය. ඇගේ මුව දෙපසින් ලේ වැක්කෙරෙයි. ඇගේ ඇඳුමද ලෙයින් තෙත්ව ඇත.
එකෙහෙනිම ඇගේ දෑස් මදෙසට යොමූවීය. රක්ත වර්ණයෙන් දිලිසුනු ඒ ඇස් ඇගේ ලේ වැකුනු කෙහෙරුලි අතරින් මා දෙස කෝපාවිෂ්ඨ බැලුමක් හෙලීය. අත රැඳුනු පිහිය බිමට දැමූ මම දොර දෙසට දිවීමට සැරසෙත්ම මා පසෙකට විසිවී ගියේය. මාගේ හිස දැඩි යමක වැදුන අතර මට ක්ලාන්ත ගතියක් ඇති විය.
.................................................................................
සති කීපයක් රෝහලේ ගත කර අනතුරුව මාස කීපයක් විවේක සුවයෙන් සිටීමට මා වෙත වෛද්‍ය නිර්දේශ ලැබුණි. නමුදු මා කියූ කතාව කිසිවෙක් විශ්වාස නොකිරීය. මන්ද මධුවිත බෝතලයක්ද මාගේ නවාතැනෙහි තිබූ බැවින් මා බේරාගත් තේ කම්හලේ සඟයන් මා බීමතින් සිට ඇති බව පැවසීමයි. ඔවුන් මා සොයා පසුදින උදයේ ඇවිත් ඇත්තේ මා වෙනදාට වඩා පරක්කු වූ නිසාවෙනි. ඔවුන් කීයූ පරිදි මා කාමරයක වැටී සිටි අතර නලල කුඩාවට තුවාල වී තිබුණි. නමුදු කිසිඳු ලේ පාරක් හෝ සුඳු ඇඳි කතක් ඔවුන් නොදැක තිබුණි. එබැවින් ඔවුන් මා කියූ කතාව බීමතින් සිටි නිසා කියන ලද මනස්ගාත ලෙසද, සිදුවූ තුවාලය බීමතින් සිටි නිසා දොරෙහි හැපී සිදුවූවක් ලෙසද සැලකූහ. නමුදු සත්‍ය මාගේ දෑස් ඉදිරිපිටදීම මා දුටුමි.
_____________________________________________
පසු වදන
නුවරඑලිය ප්‍රදේශයේ තේ වත්තක පිහිටි මෙම බංගලාවේ පෙරදීද මෙවැනි අත්භූත ජනක සිඳුවීම් විය. එහි නතරවන්නන් හට අදෘශ්‍යමාන බලවේගයකින් කරදර සිදුවිය. එබැවින් මෙය කාලයක් වාසා තිබුණි.. එම වැසූ බංගලාව නැවත විවෘත කර තිබුණේ මෙම සිද්ධිදාමයට මුහුනදුන් පුද්ගලයාට පෙර මෙහි නවාතැන් ගත් තේ කර්මාන්ත ශාලාවේ වැඩ බලන්නාය. ඔහුද මෙලෙසම බංගලාව තුලදී අනතුරට ලක්වූ අතර අවාසනාවකට තවමත් ඔහුට හරිහැට් සුවයක් නොමැත. නමුදු සිහි විකාරෙන් වුවද ඔහුද පැවසූවේ මෙම කතාවටම සමාන කතාවකි. සුදු ඇඳගත් කත ඒ අතර කියැවිණි. තේ කර්මාන්ත ශාලාවෙන් මෙම කතාව වසන්කර නව වැඩ බලන්නෙකුට නවාතැන් දී තිබුණි. එම වැඩ බලන්නා වූයේ මෙම කතාවේ සඳහන් සිද්ධියන්ට මුහුණදුන් පුද්ගලයාය.
- බුද්ධික විජේවර්ධන
Comments
Post a Comment