හවස් යාමයයි. මා වැව රවුමට ගියේ බස් එක එන්න තව පැය ගාණක් තිබෙන නිසාය. ඒ බස් එකේ ගියොත් ගෙදර ගාවින්ම බහින්ඩ පුලුවන්, හවසට වැව රවුම වෙනම පරිසරයකි. අමුතුම දේශගුණයක් බඳුය. සල්ලිකාර පුත්තුද, දූවරැද එමටය.
එක් සල්ලිකාර දුවක් මා දෙස බලා කට කොනින් හිනාවිය. මගේ බාටා දෙක, දුර්වර්ණ කලිසම, nokia 1280 ෆෝන් එක, ඔව් මං දැක්කම හිනායනව. මෙවැනි තඹ සත බැලුම් මට හොඳින් හුරැය..
වෙලාව 5.15 යි.. බස් එක 6.30 ට,
මං මනෝ ලොවකට පිවිසුණි.
මහත්තයෝ මහත්තයෝ
මට ඇහැරුණි. මා ඉදිරිපිට ගැහැනියෙකි. බෑලූ බැල්මට ඇය යාචක ගැහැණියකි. ඇය මට අත පෑවේ යමක් බලාපොරොත්තුවෙනි. මා මුදල් පසුම්බිය බැලීමි. Rs 200යි. එය මාගෙ බස් ප්රවේශ පත්රයේ ගානය. ඇය තවම මා දෙස අහිංසකව බලා සිටී. ගෙදර ගෙනියන්ඩ ගත්තු බත් එක, දෙනවද? නැද්ද? මට තණ්හාව පහල විය. රැ.300 ෆ්රයිඩ් රයිස් එක, අපරාදේ මේ ගෑණිට දෙන්නෙ....
සල්ලි නෑ.
ඇයගේ මුහුණ අඳුරැ විය. මා පහුකර ඇය සෙමෙන් පා නැගීය. ඇයගේ කකුලේ තුවාලයක් හෝ හරිහැටි ඇවිදීමට බැරි අමාරැවකි. අවුරැදු 38ක පමණ පෙනුමැති ඇය මාගේ මෑණියන්ගේ වයසේ යැයි මට සිතුණි. මදක් දුර ගිය ඈ ගසක් අසල වාඩි වීය. ලමුන් දෙනෙනෙක් අැයගේ කර වටා වෙලුණි. උන් පොඩි උන්ය. දෙදෙනාම පිරිමි ලමුන්ය. එකෙක්ට අවුරැදු 7ක් පමණ, අනෙකා ඊටත් අවුරැදු 2ක් පමණ බාල බව පෙනේ.
මට ඔවුනගේ කතාව යාන්තමට ඇසුණි.
"අම්මෙ බඩගිනි"
හ්ම් තව ටිකක් රෑ වෙලා කමු...
මා දනී. ඇය මෙසේ කීවද ඔවුන්ට කන්ඩ කෑම නැත.
මට මං ගැනම මහා කලකිරීමක් ඇති විය. මගේ තණ්හාව, පෙරේතකම. ඒ බත් එක ඔවුන්ට දුන්නනම් අද රෑ ඔවුන්ට කාලෙකින් ලැබෙන රාජකීය භෝජනයක රහ බලන්නට තිබුණි. මා තවම පරක්කු නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්නට බැරිය.
මා සෙමෙන් ඇය අසලට ගියෙම්. බියෙන් මෙන් මා දෙස බැලූ ඇය
"ඇයි, මහත්තයා?
"මේ කෑම එකක් තියෙනව.. අා ගන්ඩ"..
පොඩි එකාගෙ මුවෙන් ම්ම්ම් යැයි පිටවිය.
"පිං සිද්ද වෙනව, මහත්තයෝ.... "
කෑම එක දුන් මම ආපසු හැරී ඒ අසලම බංකුවෙහි වාඩිවීමි.
දැන් මට ඔවුනගේ කතා හොඳින් ඇසේ.
"කන්ඩ පුතේ, "
"මේ මේකෙ මස් "
"කහ බත්"
තරමක් වයසින් වැඩි එකා පොඩිම එකාට පැවසීය.
උන්ට අද රජ භොජුන්ය...
මම ඒ දෙස ආසාවෙන් බලා සිටිමි. උන්ට අම්ම කාලාද? ඒවායේ වගේ වගක් නැත. උන් පොඩි උන්ය.
වේලාව 6.15යි. මං යාමට සැරසී නැගිට්ටෙමි. හිතේ මහා කලකීරිමකින් බරවීය..රැ.300.. ෆ්රයිඩ් රයිස්.. මගේ පව්කාරකම. ඇය අත පෑ අවස්ථාවේම මට ඒ බත් එක දෙන්නට තිබිණි. එසේ නන් එහි වටිනාකම, එය මිල අධිකය...
- බුද්ධික විජේවර්ධන
Comments
Post a Comment