හිරැ තම රශ්මි දාරාවන් පොලෝ තලයට හෙලමින් බැසයයි. වාඩියට ආ මුල්ම දවස්වල නම් මට මේ දර්ශනය අතිශය චමාත්කාරජනක මනස්කාන්ත විය. දැන්නන් මට එය මේ ලුණු පොලොවෙ වෙසෙන අනිකුත් ගෑණු මිනිස්සුන්ට මෙන්ම සමාන්‍ය දෙයකි. කොටින්ම එය හිරැ බැස යාමකි. මාලු සිලි ගඳ, කුරැල්ලන්ගෙ කෑ මොර දීම් , මේවා මාගේ ජීවිතය වී හමාරය. වාඩියෙ සිටින අනෙකුන් මෙන්ම මාද මෙහි පැමිණියේ ගෙදරට බරක් නොවී බැරි කමටය.
ආ දින සිට යම් නියමිත රාජකාරි කොටසක් මට පැවරිණි. මාගේ රාජකාරිය නම් ඉතිරිවන කුඩා මාලූන් සුද්දකර එනම් උන්ගෙ පොතු, බොකු බඩවල්, ඉවත්කර වේලිමට සූදානම් කිරීමයි.
වාඩියේ මෝටර් බොට්ටු දෙකක් ඇත..
වාරකන් කාලයට බෝට්ටු දෙකටම නිවී හැනහිල්ලක් නැත. ගොනුන් මෙන් හැල්මේ දියඹට යයි, ආපහු ගොඩට එයි...
වාඩියේ වැඩ මෙසේම...
"සුද්දෙ ඇතුලට වරෙන්" ඒ රත්නෙ අයියාය...
රත්නෙ අයියා, ඔහු බොට්ටුවෙ ඩ්‍රැයිවර් මහතායි. මට වඩා අවුරැදු පහ හයක් වැඩි ඔහු කෙසඟ සිරැරක හිමිකරැවෙකි. ඉතා කුලුපගු රත්නෙ අයියා වාඩියෙ සියල්ලන්ගේම හිත දිනාගත් ප්‍රියමනාපම පුද්ගලයාය.. මාත් රත්නෙ අයියාත් හැරුණු කොට තව වාඩියේ හතර දෙනෙකි. සිරිසෝම අයියා, විජේපාල අයියා, මාරයා අයියා, ගුඩ්ඩයියා, මේ ඔවුනොවුන්ය. මා මොවුන් සියල්ලන්ටම අයියා යනුවෙන් අමතනුයේ මොවුන් මට වඩා වයසින් වැඩිමල් හෙයින් ය. මොවුන්ගෙනුත් රත්නෙ අයියා හා විජේපාල අයියා පවුල් කාරයෝය. එනම් දයාබර සැමියෝය.
"මේ එනවා රත්නෙ අයියා" මා ඒ රාතියේදී අධික ශීත දහවලදී අධික උෂ්ණ වැල්ල දිගේ වාඩිය වෙතට පා තැබුවෙමි.
"මොකෝ උඔට ගෙවල් මතක් වුනාද?"
"එහෙමත් නෑ රත්නෙ අයියෙ"
"උඹ ඉතිං හැමදාම එක විදියෙ මුහුද, හැමදාම රෑට ඒකම දිහා බලාන ඉන්නවා.."
"හැමදාම එකම විදියෙ? නෑ නෑ, කොච්චර බලන්ඩ දේවල් තියනවද මුහුදේ?"
"උඹේ මනස්ගාත, කලා හිටපන් අද රහට කන්ඩ පුලුවන්, සිරිසෝම ගමේ ගෙවුන් ඇඹුල් තියල් ගෙනැත්"
සිරිසෝම අයියා මාතර පලාතේය. මාස තුනකට සැරයක් ගෙදර යන ඔහු පැමිණෙන දවස වාඩියෙ ඈයන්ට රජ බොජුන් හිමිවන දවසය. කොතරම් නැවුම් මාලු කෑවත් සිරිසෝම අයියායේ ඇඹුල් තියල් ඒවා පරයා යයි.
"සිරිසෝමෙගෙ ඇඹුල් තියල් හැලියට ගහන්ඩ එකක් මේ පොලොවේ නම් නෑ ඔන්න"
ඒ මාරයියාගේ වර්ණනාවයි.
"හා හා බොරැ ආටෝපා එපා, කාපන් කාපන්" සිරිසෝම අයියා පැවසීය.
සියල්ලම කා බී අවසන්ය.
"ගුඩ්ඩයියා ඩොල්කිය ගත්තනන්"
රත්නෙ අයියා පැවසීය.
"අපේ ජීවිත මේ මහ සාගරේ"
වාඩිය එකම සාජ්ජයකි. සියල්ලන්ටම විඳින දුක්ගැහැට අමතකව අැති සෙයකි. මා මාගේ සයනයට ගියේ ඇඟ පත අමාරැව මකා දමා සුවබර නින්දක ප්‍රාර්ථනයෙනි. සයනය කීවාට එය හරස් කොට්ට පලු හතරක් උඩට පැදුරක් දමා සැකසූ ඇඳකි. නින්දත් නොනින්දත් අතර පසුවූ මම වටපිටාවට කන් දීමි. මුහුදේ එකම ගෝෂාවකි. කිසිඳු හැලහොල්මනක් නැත.
to be continued...
Comments
Post a Comment