සත්‍ය සිදුවීමක් ඇසුරිනි.
වාඩියෙ අද සූදානම නන් වාඩියටම ගැලපෙන කතාවක් කියන්නයි.. කතාවක් කීවට මේක සාකච්ඡාවක්.. කතාව ගැන මෙහෙම කියමු. කියවන අයට මේක වෙනම ආතල් එකක් හැබැයි කතාවේ නායකයටනන් මේක ජීවිත සටනක් නැත්තන් යථාර්තයක්.. හරි! අපි දුර යන් නැතුව කතාවට එමුකො.. මේක මට මේ ළඟකදී අහම්බෙන් හම්බුන චාන්ස් එකක්.. මට මගෙ ළඟම යාලුවෙක් හොයල දුන්න අවස්ථාවක් මේක.. මාතෘකාවේ විදියටම මේක පැලක ගෙවුන රැයක් ගැන කතාවක්.. තනියම නෙමෙි එක පුද්ගලයෙක් එක්ක.. අපි මෙයාව මාමා කියල හඳුන්වමු.. මේ මමා ගොවිතැන් කරන්නෙ.. මේ කියන පැල තියෙන්නෙ උතුරැ මැද පලාතේ එක් ප්‍රදේශයක. තැන හරියටම කියන්න තිබ්බා, මේක නීතියට පිටුපාලා කරන වැඩක් නෙවේනන්..
මහා රෑස්ස ගස් මැද්දෙන් ගල් තලා මැද්දෙන් වැටුන අඩි පාරක අවසානයෙ මමයි මගෙ යාලුවයි නතරවුනා. ඒ මෙතන ඉඳන් මට මඟපෙන්වන්න ඔහුට අසීරු නිසයි. මගෙ යාලුවා මාව කතාවෙ නායකයට , මාමට හඳුන්වල දුන්නට පස්සෙ මේ ගමන මං යන්නෙ මාමත් එක්ක.. යාලුවටත් සමු දුන්න මං මාමත් එක්ක දැන් ගමන යන ගමන්..
" මමා මේ මහ කැලේ ගොවිතැන් කරන්න අරන් කොච්චර කල්ද?"
"මහත්තයො, මට මතක හැටියටනන් මං මේ කෑලැ කෙටිල්ල මට අවුරැදු 20 දී වගේ පටන්ගත්ත එකක්.. L.T.T.E එක මෙහෙට පැන්නට පස්සෙ අපි මේ ප්‍රදේසෙන් ගියා.. දැන් ළඟකදී තමා අායේමත් පටන් ගත්තේ?"
"එතකොට ඇයි මේක නිතියට හොරෙන් වෙන්නෙ?"
"මේකයි මහත්තයෝ අපි මේක හොරෙන් කරනවා නෙමෙයි, කාලේක ඉඳන් මේක අපේ බඩවියත රැකගන්න කරන්නේ? එකපාරම තහංචි දැම්ම කිය අපි කොහොමද මහත්තයෝ වෙන වෘත්තියක් කොරන්නේ? අපිට පුරුදු දේ... ආර්මි එක මෙහෙ බේරගත්තට පස්සෙ අපි කලින් විදියටම කෑලෑ කපල ගොවිතැන් කරන්න පටන් ගත්තට, දැන් අවුරැද්දකට උඩදී වගේ මේවා රක්ෂිත කියල නම් කරල, රක්ෂිත වල කෑලැ කපල විනාස කරනවා කියල දැන් වනජීවී එකෙන් මෙහෙට පයිනවා"
ඔහු අත රැඳි ගල් කටස් තුවක්කුවකි. රැවුල සුදු පැහැ වුවද ඇඟ පතේ වීර්යය යන ගමනින්ම පෙනේ.
"මාමාට දැන් වයස?
"මට දැන් 64 යි මහත්තයෝ"
"හැමදාම මෙහෙද දරු මුනුබුරෝ එහෙම නැද්ද මාමාට?
"මං කසාද බැඳපු ගෑනී L.T.T.E එකෙන් කපල මැරැවෙ නැත්තන් මටත් ඉන්න තිබ්බා"
සිනහවෙන්ම ඔහු පිලිතුරු දුනි.
" හැමදාම මෙහේ ඉන්න බෑ මහත්තයෝ මේවා ගොඩ ගොවිතැන් වැස්ස කාලේට විතරයි.. "
කතාවෙන් කතාවෙන් පැල ආසන්නයට පැමිණියෙමු. මහා රූස්ස ගන කැලෑවක් මැද මෙවැනි ගොවිතැනක්.. පලු ගසක් උඩ එක් පැලැක්ද පලු ගස පහල බිම තව පැලැක්ද විය. පැල වටකරගෙන තිබූනේ අක්කර දෙකහමාරක තුනක පමණ වට්ටක්කා යායකි. ගොඩ ගොවිතැනට සුදුසුම භෝගය වට්ටක්කාය. තැනින් තැන ඉනි හිටවා ඒ මත වැටකුලු, මෑ කරල් වැල් යවා ඇත.
පැල ඇතුලත ලෑලී වලින්ම සෑදූ සයනයක්ද, ඔහේ තැනින් තැන දැමූ ප්ලාස්ටික් කෝප්ප කිහිපයක්ද තව මොන මොන මොනවදෝ අඩුම කුඩුම කීපයක්ද විය.
වේලාව හවස 6.30ය.
යමු මහත්තයෝ උඩ පැලට.. උඩ පැල සම්පූර්ණයෙන්ම හිස් විය. එහි උණුවතුර බෝතලයක් විය.. මාමා මට බෙලෙක් කෝප්පයකට තේ වක්කර දී තම දකුණු කන් පෙත්තේ ගසා ගෙන උන් තරමක් පාවිච්චි කෙරූ බීඩීය පත්තු කරගත්තේය.. කතාවකට මුලාම්භරක් ගැනීමට අවස්ථාව මෙයයැයි මට සිතුණි.
"මාමේ අලි එහෙම එන් නැද්ද?"
"අලි විතරක්ද? මේක වලස්සු විමානෙ එන පාර දිග ගහක් අතගාලා මං මෙතනින් හැරෙමු කියල කීවට මං ඒ පාර වෙනස් කරේ, "
"ඒ මොකද?
"ඒ ගහ පලු ගහක්, වලස්සු පලු වලට හරිම කෑදරයි, මත්වෙනකන් කනවා උන්, සමහර දාට උන් පලු කාලා මත් වෙලා ගහේම බුදියාගන්නවා. ගහේ කදේ වලහෙක්ගෙ පාරවල් තිබ්බා. මං ඒකයි එතනින් වෙන පැත්තකට හැරුනේ?"
තේරෙනවද මේ රූස්ස කැලේ තියෙන භයානක කම. ළඟ පාතක කිසිම මිනිස් වාසයක් නැති උදව්වට කව්රුත් නැති මේ වගේ ගන කැලේක ගොවිතැන් කරනවා.. සැප පුටුවල වාඩි වේලා හවසට ඕෆ් වෙන මිනිස්සුත් එක්ක බලද්දි මේ මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලේ.
"මාමේ මේ බව භෝග අස්සෙ තහනම් දේවල් එහෙම වවන් නැද්ද? ! ඔබ සැමටම ඇති ප්‍රශ්නයම මාද ඇසුවෙමි.
"ගොඩ කාලේකට කලින් නන් මාත් හොඳට ගංජා සුරුට්ටු ඉරුවා, සුරුට්ටුව කටේ නැති වෙලාවක් තිබ්බෙ නෑ.. පස්සෙ කොහොමින් කොහොම හරි ඒ පුරුද්ද ඇතෑරිලම ගියා.." ඔහුගේ කතා ව්ලාසයෙන්ම මට තේරුම් ගියේ ඒ සම්බන්ධව වැඩි දුර කතාකිරීමට අකමැති බවයි. එය සධාරණය. දවසකින් හඳුනාගත් මා වැන්නෙකුට මෙහි රහස් සියල්ලම කීම එක අතකින් විහිලුවකි. මන්ද අප දන්නා දෙය ගත් කල ඔහු දන්නා දෙය හා ළඟින් තිබීමටවත් නොහැකි බැවිනි.
"මහත්තයෝ අපි රෑට කන්න මොනාහරි හදමු" කී මාමා අත රුඳී විදුලි පන්දම හේන සිසාරා බැලුවේ වන සතුන්ගෙන් කරදරයක්ද කීයාය. පසුව තුවක්කුවද රැගෙන බිමට බැස්සේය. ඒ ගමන්ම මාද බිමට බැස්සෙමි.
රාත්‍රි ආහාරය කියා මහ ලොකු භෝජන මොහු ළඟ නැත. පහල ගසා තිබු ගිනි මැලය අසලම සැදූ ලිපකට මුට්ටියක් තබා හාල් දැමීය. රාත්‍රි බත පිසෙන්නේ එහිය. කෙමෙන් කෙමෙන් රාත්‍රි බස පිසෙන අතරම මම මාමා කතාවට අල්ලාගතිමි. හේතුව ඔහුගෙන් දැනගන්නට නම් මාසයකට පමණ සෑහෙන දේවල් තිබුණද මා හට තිබෙන්නේ මේ රැය පමණි. ඒ හෙයින් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.
"මාමාට මේ මහ කැලේ හොල්මන් එහෙම ඉන්නවා කියල?
"ඕ මහත්තයෝ මේ කැලේ මං මෙච්චර කල් වසනවා. ඔය එක මල පේරේතයෙක් දැකල බයවෙලා නන් නැහැ. හැබැයි මේක කෑලැව කඩවර දෙයියන්ගෙ භූමිය, එහෙව් එකේ අපි කැලෑවේ නීතීයට අනුව වැඩ කරන්න ඕන"
වවුලගෙ මගුලට ගියානන් එල්ලිලා ඉන්න ඕන. අන්න ඒ වගේ මේ කැලේ කැලෑ නීතිය තමා.
"හැබැයි මහත්තයෝ මං එක එක හාස්කම් නන් දැකල තියනවා මේ කැලේ දෙපාරක් තුන්පාරක්"
ඔහු දැන් මා හා කුලුපගු වී ඇති සෙයකි.
" දවසක් මං මාසේකට සැරයක් පොඩි කලමනා වගයක් ගේන්න පිටිසර පැත්තකට ගිහින් එනගමන් ඉර බැහැගෙන යන වේලාවත් පහු වුනා. එමින් ගමන් මහා විසාල ගහක් ළඟ මට මතක හැටියට කෝන් ගහක්.. ළඟ වැද්දෙක් වගේ මිනිහෙක් ඉනේ කෙටේරියකුත් තියනවා. පෙවුන හැටියෙන් මී වදයක් කඩනවා වගේ.. මං උන්නැහේ කියල කතා කරා.. මක්ද මහත්තයෝ මේ කෑලෑව අපිට විතරක් කියලයෑ.. ම් හ් කිසිම කතාවක් නැති තැන මං ළඟට ගියා. ළඟට යනවත් එක්කම මේ මිනිහා හැරිලා හිමින් ගමනින් ගියා.. දැන් මට මේක හරි පුරස්නෙ.. මං මගක් දුර අර වැද්ද පස්සෙ ගියත් මට සිහියට ආවා අතේ ටෝච් එකක්වත් නෑ.. කියල ආපසු හැරුනා.. හැරිලා අර ගහ ගාවට එද්දි ඒ ගහේ කලින් එතන ඉඳපු මී මැසි රූන තියා මීය කඩපු ගස් බෙනේවත් නෑ. ඒ අව්අස්සෙ මට ආපු පාර ගැන නිච්චියක් නෑ.. මං කොච්චර වටේ කැරකුනත් මට හිතෙන්නේ මං එකම තැන කැරකෙනව කියලයි. හැබැයි මං සිහියෙන්.. දැන් මට හිතුනා මෙතන හිතනවට වඩා දෙයක් තියනවා කියල. මං එහෙමම නැවතුනා. මං කරේ මී වදේ තිබුන ගහ ගාවම තිබුණ තවත් ගහක් ගාවට ගිහින් කොල අත්තක් කඩල කඩවර දෙයියන්ගෙ නාමෙන් එල්ලුවා. එල්ලලා ඒ ගමන්ම වෙන ගහකට නැගල එලිවෙනකන් නිදාගත්තා.. පහුවදා එලිවෙලා ගහෙන් බහිද්දි මං එල්ලපු කොල අත්ත එතනමයි.. මට හොඳට පාර මතකයි පැලට යන්න. මී වදයක් කඩපු ගහක් තිබ්බු තැනක් මතක වත් නෑ.. "
තට්ට තනියම මහ කැලයක වෙසෙන මනුස්සයකුගේ කතාවක් මෙසේය. විශ්වාස කිරීම නොකිරීම කියවන ඔබ සතුව.. කතාවෙන් කතාවෙන් ලිප තැබූ බත් මුට්ටිය ඉදී ඇත..
ප්ලාස්ටික් භාජන දෙකකට බත් බෙදූ මමා පැල තුලට ගියේය. කො දැන් මේ බත් වලට මාලු පිලි? එයට විසඳුමද මාමාගෙනි. කුඩා කරවල කූරියො දෙදෙනෙක් අඟුරු ගොඩටම දැමීය. තව දෙහි ගෙඩියක් පැල තුල තිබූ පිහියකින් දෙකට පැලූ ඔහු එ්වා භාජන දෙකටම දැමීය. තව රතු ළුෑණු ගෙඩි තුන හතරක්ද ඒ භාජන දෙකටම දැමුවේය. පැල අසලට සරුවට වැඩුන කොච්චි කරල් කීපයක්ද කඩාගත් මමා හොඳට පිච්චුන කරවල කුරුයෝ දෙකද හාජන දෙකට දැමීය. ලුණු පොල් කට්ට ගෙන එයින්ද ලුණු වතුර ස්වල්පයක් ඉසිනු ලැබූ පසු රාත්‍රි භෝජනය සදා නිමකර අවසන්ය.
"ඔන්න මහත්තයෝ මෙහෙ කෑම ඔහොමයි"
ජීවිතයේ විඳි අනර්ඝතම කෑම වේල එයම විය. එ් කෑම වේල කෙරෙහි මසිත තුල කිසිඳු විවේචනයක් නොවීය. මන්ද එය රාජ භෝජනයක්ම විය.
රාත්‍රි කෑම වේලක නිමාව. නැවත උඩු පැලට නැගිය යුතුය. මාගේම වාසනාවට අඳනන් අලින්ගෙන් කරදරයක් නැත. රතිඤ්ඤා දෙක තුනක් නිකමට මෙන් හේන දේසට විසිකල මාමා නැවත මා සමඟම උඩු පැලට ගොඩවීය. අලින්ගෙන් කරදරයක් නැති වුවද මීයන්, වල්උෘරන්ගෙන් වගාව බේරාගැනීම අලින්ට හපන් අමාරුය. නැවත කතාවටම මුල පිරූ මා?
"මාමේ මේ කැලේ මෙච්චර රෑ වේලත් එක මදුරුවෙක් වත් කෑවේ නෑනේ"
"ආහ් මහත්තයෝ ඒක අපේ මහ උන්දලා කාලේ ඉඳන්ම කරපු දෙයක්.. ඒ කාලේ ඉඳන් හැම ඉඩම් කෑල්ලකම දාස්පෙතියා ඇට ඉහිනවා..හරිම ලේසියෙන් හිටවෙන පැල ජාතියක් නොවැ. අර පහල හිටවලා තියෙන්නෙ. ඔය පැලෑටියෙ මලේ පුසුඹට මදුරුවා එන්නෙ නෑ"
හිතන්න. මේ මහ කැලේ වෙසෙන පොත පත අධ්‍යාපනයක් නැති මිනිස්සු තම අත්දැකීම්වලින්ම දැනගත්තු දේවල්. ඇත්ත! දාස්පේතියා මලේ සුවද මදුරුවන්ට විකර්ෂණයක්..
මේ මහ රූස්ස කැලේට, මාමාට රුයක් දවාලක් කියන්නේ එකම වේලාවක් වුනාට කැලේට ආගන්තුක අපිට නන් එහෙම නෙවෙයි. මේ වගේ මිනිස්සු ලංකාවේ හතරදිග් බාගේම ඉන්නවා.. අපි කව්රුත් නොදන්න ගොඩක් දේවල් ඔවුන් දන්නවා.. අත්දැකීම් වලින් පිරුන ඒ ජීවීත අපේ ජීවිත, අපේ දැනුම අහලකින්වත් තියන්න අමාරුයි. හේතුව ලොකේ වෙනස් වන තාලේට අපි වෙනස් වෙනවා කියල හිතුවට ඒ මිනිස්සු ලොකේ තාලේට වෙනස් නොවීම තමන්ගේ තාලේට ලොකේ ගැන දැනගන්න එකයි.
- බුද්ධික විජේවර්ධන
Comments
Post a Comment